Sunday, February 23, 2025

General line - 0115112241

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට අරමුදල් යෙදවීමේ වැදගත්කම ලෝක ජල සමුළුවේදී ජනපති පෙන්වයි



යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් ඊට එක්ව සිටිනවා.

සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.

1997 වසරේ සිට සෑම වසර තුනකට වරක් පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරක් වනවා.

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.