Sunday, February 23, 2025

General line - 0115112241

මහ බැංකු සේවකයින් EPF පොලිය වැඩිපුර ලබා ගැනීමට එරෙහි පෙත්සම් විභාගයකට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

උදය කුමාර



සේවක අර්ථ සාධක අරමුදලෙන් සාමාන්‍ය ජනතාවට ගෙවනු ලබන පොලියට වඩා ඉහළ පොලියක් ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් වෙනුවෙන් ගෙවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින්.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබුවා.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුකු වශයෙන් නම්කර සිටින ජනාධිපති ලේකම්වරයා වෙත මෙතෙක් නොතීසි යවා නොමැති බවටයි කරුණු අනාවරණය වුණේ.

ඒ අනුව වගඋත්තරකාර ජනාධිපති ලේකම්වරයා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්  අදාල පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත්  විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස එහිදී නියෝග කලා.

පෙත්සම්කාර ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කියා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ වැටුප් වලින් සේවක අර්ථසාධක අරමුදල සඳහා අය කරගනු ලබන මුදල් වෙනුවෙන් සියයට 11 ක වාර්ෂික පොලියක් ගෙවන බවයි.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගෙන් අර්ථසාධක අරමුදල් වෙනුවෙන් සියයට 29 ක වාර්ෂික පොලියක් ගෙවීමට පියවර ගන්නා බවත් ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.