ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්. එම පෙත්සම අද ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉකුත් 12 වනදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී විජයදාස රාජපක්ෂ එහි සභාපතිවරයා ලෙස ඒකමතිකව පත් කර ගනු ලැබූ බවයි.
එම විධායක සභාව නීති විරෝධී බවට මීට පෙර කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ බලය පක්ෂයේ විධායක සභාව සතු වන අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ අදාළ ධුරය සඳහා පත් කිරීමට විධායක සභාව ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට අනුකූල බවත් ඔහු සඳහන් කළා.
එම තත්වය හමුවේ විජයදාස රාජපක්ෂ ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ කඩුවෙල දිසා අධිකරණය ඉකුත් 12 වනදා පැවැති පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණය වලට පටහැනිව කටයුතු කිරීම වළක්වාලමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කල බවත් ඔහු පෙන්වා දුන්නා.
එවැනි වාරණ නියෝගයක් කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කර තිබියදී වගඋත්තරකරු එම පත් කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීම මුලුමනින්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියා.
එහිදී විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන විවෘත අධිකරණයේ ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “අදාළ අධිකරණ නියෝගයට එරෙහිව පියවර ගැනීමට ඕනෑම අයෙකුට හැකියාවක් තිබෙනවා නේද” යනුවෙන් විමසා සිටියා.
“ඕනෑම පුද්ගලයෙකුට අධිකරණය හමුවට පැමිණිය හැකියි. ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා නිසි අධිකරණයට නොගොස් කොළඹ දිසා අධිකරණය හමුවේ අදාළ පැමිණිල්ල ගොනු කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියා.
ඒ අනුව එම පෙත්සමේ වැඩිදුර විභාගය හෙට දින තෙක් කල් තැබුණා.
මෙම පෙත්සම් විභාගය පැවැත්වෙමින් තිබු අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය විසින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කීර්ති උඩවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල දැරීම වලක්වාලමින් වාරණ නියෝග නිකුත් කිරීම විශේෂ සිද්ධියක් වූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.