විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙන බව සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත් ඒ අනුව ඇය සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉල්ලා සිටියා.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නීතියට අනුව කටයුතු කරමින් අවශ්‍ය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.