Sunday, February 23, 2025

General line - 0115112241

අලි මිනිස් ගැටුම පාලනයට නියමු ව්‍යාපෘති දෙකක්



අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා තාවකාලිකව කෘෂි විදුලි වැට හා ගම්මාන විදුලි වැට ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

අලි - මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වුණා.

මෙහිදී වනඅලි මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල එම ගැටුම් පාලනය කිරීම සඳහා ඉදිකර පවත්වා ගෙන යනු ලබන විදුලි වැටට අමතරව, ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි නියමු ව්‍යාපෘති ලෙස ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කර අස්වැන්න නෙළන කාලය දක්වා පමණක් අදාළ ගොවිබිම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකරන ලද තාවකාලික කෘෂි විදුලි වැට ඉදිකිරීමට අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම අලි මිනිස් ගැටුම් බහුල ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා ගම්මානය වටා ඉදිකරන විදුලි වැට ඉදිකිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය සම්බන්ධව ද එහිදී දීර්ඝ ලෙස කරුණු  සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අස්වැන්න නෙලීමෙන් පසු කෘෂි විදුලි වැට ඉවත් කිරීම අදාළ ගොවීන් විසින් සිදු කළ යුතු බව මෙන්ම එම විදුලි වැට නඩත්තු කිරීම හා භාරකාරත්වය සම්බන්ධයෙන් වූ වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීමට ද ගම්මාන විදුලි වැට නඩත්තු කර පවත්වා ගෙන යාම අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

එමෙන්ම විවිධ සංස්කෘතික කටයුතු හා පෙරහැර වෙනුවෙන් අලි ඇතුන් යොදා ගැනීමේදී පෞද්ගලික අලි ඇතුන්ට අමතරව හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කෙරුණු තවත් කරුණක්.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටලු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට භාර දෙන ලෙසද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එහිදී අදාල බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීන් හා අලි මිනිස් ගැටුම් පාලනය කිරීමේ කමිටු සාමාජිකයින් වන ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්  මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.