Wednesday, March 26, 2025

General line - 0115112241

වැසි සහ ආපදා නිසා උඩරට මාර්ගයේ රාත්‍රී දුම්රිය අවලංගු කෙරේ



අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ උඩරට දුම්රිය මාර්ගයේ අද ධාවනය වීමට නියමිත රාත්‍රී  දුම්රියන් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව  බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියද  කොළඹ සිට බදුල්ල බලා ධාවනය  වීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියද අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස් කඩාවැටීම් අවදානමක් පවතිනවා.

මේ වන විටත් ඉදල්ගස්හින්න, ඕහිය දුම්රිය ස්ථානවල සන්නිවේදන සම්බන්ධතා ඇනහිට ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

මේ අතර ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි තිදෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල - කොස්වාඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනක්.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

ගස කඩා වැටීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් හලාවත - කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වී තිබුනා.

මාරවිල පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව එම ගස කපා ඉවත් කිරීමට කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.