Monday, February 24, 2025

General line - 0115112241

රේමාල් සුළි කුණාටුවෙන් රට තුළ සුළඟේ වේගය වැඩිවීමක්



බෙංගාල බොක්ක ප්‍රදේශයේ දිවයිනට ඔබ්බෙන් සුළි කුණාටුවක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රිියේ බංග්ලාදේශ වෙරළබඩ තීරයෙන් බංග්ලාදේශයට ඇතුළු වන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසුවේ.

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් නොමැති වුවත් එහි වක්‍ර බලපෑමෙන් රට තුළ සුළගේ වේගය වැඩිවිය හැකි බවයි ඔහු පැවසුවේ.


දිවයින හරහා ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබරගමුව පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාතවලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.  

මේ අතර, දිස්ත්‍රික්ක 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අවදානම් නිවේදනය අද පස්වරු 04 දක්වා තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

අදාළ දිස්ත්‍රික්කවල නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.