“ස්කයිප්” තාක්ෂණය ඔස්සේ සිය දරුවා සමග කථා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ නොහැකි බව කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලා යෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටාගේ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එම නඩුව සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අවුරුදු දෙකක දරුවා සමග සබඳතාවක් නොමැතිවීම නිසා විත්තිකරු දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවයි.
සාමාන්‍ය බන්ධනාගාර රැඳවියෙකුට හිමි පහසුකම්වලට වඩා වැඩි යමක් ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඔහු රදවා සිටින ආයතනයේ ප්‍රධානීන් බව එම අවස්ථාවේදී විනිසුරු දමිත් තොටවත්ත අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
ඔවුන් එවැනි පහසුකම් ලබා දීමට එකග වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගැටලුවක් නොමැති බවද විනිසුරුවරයා පැවසුවා.
එසේ නොවන අවස්ථාවක මෙවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට හැකියාවක් නැතැයි විනිසුරුවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුනි මස 06 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටියදී ඉන් පලා යෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.