Thursday, March 27, 2025

General line - 0115112241

අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් නුවරඑළියේ නිවසක ගින්නක්

රංජිත් රාජපක්ෂ



නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් එම නිවසේ ගින්නක් හටගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පැවති දැඩි සුළං සහ අධික වර්ෂාවත් සමග නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටී තිබෙනවා.

එම ගසේ අතු මත පැටලී තිබුණු අධි බලැති විදුලි රැහැනක් අදාළ නිවස මතට කඩා වැටීමෙන් එම ගින්න හටගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

ගස කඩා වැටීමත් සමග නිවසේ සිටි පදිංචිකරුවන් අසල්වාසින් විසින් ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර, නිවසේ පදිංචිකරුවන් ඉවත් කිරීමත් සමගම අධි බලැති විදුලි රැහැන් නිවස මතට කඩා වැටී ගිනි ගැනීම සිදුවී ඇති බවයි නුවරඑළිය විදුලි බල මණ්ඩල කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

ගින්නෙන් නිවසේ තිබු බඩු බාහිරාදිය ගිනිගෙන විනාශ වී ඇති අතර, සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. විදුලි රැහැන් පද්ධතිය කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමද බිඳ වැටී තිබෙනවා.