Friday, March 28, 2025

General line - 0115112241

විජයදාසට තවත් වාරණයක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු එම පක්ෂයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිට සරත් ඒකනායක, මෛත්‍රිපාල සිරිසේන සහ විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත මෙම වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා.

එම වාරණ නියෝගය ජුනි මස 11 වනදා දක්වා බල පැවැත්වෙන බවයි කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න එහිදී නියෝග කළේ.

පැමිණිල්ල සලකා ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී පැමිණිලිකාර ලසන්ත අලගියවන්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්කළ බව කියන විධායක සභාවේ කටයුතු සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.

විධායක සභා රැස්වීම කැඳවීම සඳහා අවශ්‍යතා හතරක් සම්පූර්ණ විය යුතු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට බලය තිබෙන්නේ පක්ෂයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට පමණක් බවත් පෙන්වා දුන්නා.

එසේ තිබියදී පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ වාරණ නියෝග තුළින් ඔවුන්ගේ කටයුතු වාරණය කර තිබෙන අවස්ථාවක පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ සරත් ඒකනායක ලේකම් ධූරයේ බලය යොදාගනිමින්  ඉකුත් 12 වනදා මෙම විධායක සභා රැස්වීම කැඳවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු පෙන්වා දුන්නා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව ප්‍රකාශ කළ ද ඔහු තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත් යම් හෙයකින් ඔහු පොදු ජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් වූ බව ප්‍රකාශ කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහිමි විය යුතු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එම නිසා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට එහි විධායක සභාව යැයි කියනු ලබන රැස්වීමකදී ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම අනීතික වන අතර එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී විත්තිකාර විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සාමාජිකයින් 240 කින් සමන්විත වන අතර  එහි බහුතරයගේ එකඟත්වයෙන් තම සේවාදායකයා සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු බව සඳහන් කළා.

දේශපාලන පක්ෂයක් තුළ ක්‍රියාත්මක වන්නේ බහුතරයකගේ තීන්දුව බවත් ප්‍රජාතන්ත්‍රවාදය යනු එය බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම නඩුවේ පැමිණිකරු අදාළ විධායක සභා රැස්වීමට සහභාගි වී නොමැති බවත් ප්‍රකාශ කළා.

මෙම විධායක සභා රැස්වීම හොර රහසේ පවත්වන ලද්දක් නොවන අතර ඊට සාමාජිකයින් 118 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් ඒකමතිකව අදාළ පත්කිරීම අනුමත කළ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අදාල පෙත්සමේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විජයදාස රාජපක්ෂ සභාපතිවරයා ලෙස පත් කළ බව කියන විධායක සභා රැස්වීම කැඳවා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක විසින් බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් සරත් ඒකනායක වෙත මීට පෙර කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවත් එවැනි වාතාවරණයක ඔහු නියෝජ්‍ය ලේකම් ධූරයේ කටයුතු කරමින් මහලේකම්වරයාගේ බලය භාවිතා කොට අදාළ රැස්වීම කැඳවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් නීතිඥ පුලස්ති රූපසිංහ අවධාරණය කළා.

සියලු‍ පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කළා.