Friday, March 28, 2025

General line - 0115112241

ඉන්දියාව ගිනියම් වෙයි - උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 50යි



අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ උෂ්ණත්වය අද වාර්තා වුණේ සෙල්ෂියස් අංශක 50ක් ලෙසයි.

දිල්ලි අගනුවරද ඒ අතරට අයත්.

අධික උෂ්ණත්වය හේතුවෙන් දිල්ලි අධිකරණයේ නඩු කටයුතු පවා අත්හිටුවීමටයි අද තීරණය කෙරුණේ.

මේ සතියේ ඉන්දියාවේ නගර 37කට වැඩි සංඛ්‍යාවක උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 45සීමාව ඉක්මවා ගොස් තිබුණා.

රාජස්ථාන්හි ජේපූර් නගරයෙන් මරණ තුනක්ද වාර්තා වන්නේ අධික උෂ්ණත්වයේ බලපෑමෙන්. 

සාමාන්‍යයෙන් මාර්තු සිට සැප්තැම්බර් දක්වා ඉන්දියාවේ අධික උෂ්ණත්වයක් පවතිනවා.

එහෙත් මෙතරම් දිගු කාලයක් හා මෙතරම් අධික උෂ්ණත්වයක් වාර්තා වූයේ මේ වසරේදී බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

රාජස්ථාන් සහ ගුජරාට් යන ප්‍රාන්තවල දින 12කට ආසන්න කාලයක් සෙල්ෂියස් අංශක 40ත් 50ත් අතර උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

ජුනි මාසය වන විට තත්ත්වය යහපත් වනු ඇති බවයි කාලගුණ බලධාරීන් පවසන්නේ.