Monday, February 24, 2025

General line - 0115112241

දෛනික බිත්තර පරිභෝජනය ඉහළ යයි



මෙරට දෛනිකව බිත්තර පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.

බිත්තර මිලියන 07ක්  වූ දෛනික පරිභෝජනය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි වාර්තාවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

සංචාරක කර්මාන්තය තුළ මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, පසුගිය කාලය තුළ විවිධ හේතුන් නිසා මස් හා මාළු මිල ගණන් වරින්වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර ලෙස පසුගිය කාලය තුළ මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නැති නිසා ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ දැනට මාසිකව බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කරන බැවින් එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපල තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසයි.