වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.
ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වග උත්තරකරුවන් ලෙස 52 ක් නම් කර තිබෙනවා.
වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1350ක් සහ රුපියල් 300ක් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 80ක දීමනාවක් අවම වැටුප වශයෙන් නියම කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළා.