Friday, March 28, 2025

General line - 0115112241

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්  නියෝගය  

උදයකූමාර 



2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයාගැනීම සදහා ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් එහි පැය කිහිපයක් රදවා ගැනිම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද  තීන්දු කළා.

හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාගේ බිරිඳ වූ ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ආර්.එච්.ඉරේෂා ලක්මාලි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් ගේ එකගතාවය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ.

ඒ අනුව අදාල මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිවයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 250000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවත් නියෝග කෙරුනේ.

මිට අමතරව අදාල නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබුනා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේදී පවතින නීතිමය රාමුව තුළ එය සිදු කළ යුතු බව මෙම අධිකරණය යලි යලිත් අවධාරණය කර තිබෙනවා. පොලීසියට සාමාන්‍ය "මැරවරයෙකු" කටයුතු කරන ආකාරයෙන් ක්‍රියා කිරීමට නීතියෙන් බලයක් දී නොමැති බවත්  මෙය  "රාජ්‍ය ත්‍රස්තවාදය" ලෙස හැඳින්විය ගැකි බවත් සඳහන් කර සිටියා.

එහෙත් වග උත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාවලින් සඳහන් කර තිබුණේ පෙත්සම්කාරිය කිසිදු අවස්ථාවක තමන් බලහත්කාරයෙන් රැගෙන නො ආ බවයි 

මෙම කරුණු වලට අනුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු තුරෙයි රාජා මහතා" සඳහන් කර සිටියේ

" සැකකරුවකු ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විට ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන කටයුත්තක්. මෙයත් එවැනි ගණයට අයත් වන සිද්ධියක් බව කිව යුතුයි. 

මෙය අත්අඩංගුවට ගැනීමක් නොව පැහැර ගැනීමක් ලෙස කිව යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාම නිලධාරියෙකුට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ ඊට අදාළ නීති රාමුවට අනුකූලවයි. 

මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. සාමාන්‍ය මැරවරයෙකු ක්‍රියා කරන ආකාරයට පොලිසියට  ක්‍රියා කිරීමට බලයක් දීලා නැහැ. 

එවැනි ක්‍රියා රාජ්‍ය ත්‍රස්තවාදය කියලා කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ. 

මේවා කෲර, ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් සලකන්න ඕන. පුද්ගල නිදහස් සහ ගෞරවය ආරක්ෂා කිරීම මානව හිමිකම්වල  ප්‍රධාන අරමුණයි." 

යනුවෙන් විනිසුරු තුරයි රාජා මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.