Tuesday, February 25, 2025

General line - 0115112241

ඇමති ජීවන් තොන්ඩමන් නුවරඑළිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී යකා නටයි

රංජිත් රාජපක්ෂ



ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අද පස්වරුවේ නුවරඑළිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් සමඟින්.

ඒ අනුව නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි එම ස්ථානයට කැඳවා තබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නුවරඑළිය පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමඟ එම තේ කර්මාන්ත ශාලාවට ගිය අමාත්‍යවරයා එහි වතු පාලන අධිකාරියේ නිලධාරින් රැසක් පැය කිහිපයක් තේ කර්මාන්ත ශාලා අඩස්සියේ රඳවා තබා ගෙන සිටි බවයි වාර්තා වුණේ.

ඊට එරහිව එම වතුයායේ පාලන අධිකාරිය විසින් නුවරඑළිය පොලිසියට කළ පැමිණිල්ලකට විරෝධය පාමින් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස එලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

විරෝධතාවයේ නියැලි සිටි අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලිසිය තුලට පැමිණෙන ලෙසට නුවරඑලිය පොලිසියේ නිලධාරින් අවස්ථා කිහිපයකදි ඉල්ලිම් කලත්, එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කල අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පසුව පොලිසිය තුලට ගොස් උසස් පොලිස් නිලධාරින් සමග සාකච්ඡා කර තිබෙනවා.