ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.
ඒ, අදාළ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී දිසා විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය හමුවට යොමු කරන බවයි.
ඉන් අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව විරෝධතා ගොනු කිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව යළිත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.
ඒ අනුව දැනට නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 14 දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරුවරිය විසින් වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.