රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද ආරම්භ වුණා.
මෙම පෙත්සම් සලකා බැලීම සිදුවන්නේ එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි. මේවන විට පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදුකරනු ලබනවා.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සර්වජන බලය සංවිධානය ඇතුළු පාර්ශව 17ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් එම පෙත්සම් මඟින් චෝදනා කර තිබෙනවා.
එබැවින් යෝජිත පනත් කෙටුම්පත්වල අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා.
එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමතවී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.