Tuesday, February 25, 2025

General line - 0115112241

වර්ජනයේ නිරත රියදුරන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දොස්



දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 30ක් පමණ අවලංගුවී තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පිරිසක් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටයි.

ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 43ක් අවලංගු වුණා.

සේවයේ නියුතු 250ක් පමණ වන රියදුරන්ගෙන් වර්ජනයට එක්ව සිටින්නේ රියදුරන් 60කට ආසන්න පිරිසක් පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව එම පිරිස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් බලපෑම් එල්ල වන්නේ කෙටිදුර දුම්රිය ගමන් වාර සඳහා පමණයි. 

සිය ගැටළුවලට විසදුම් ලබාදෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරත වන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කෙසේවෙතත් එම රියදුරන්ගේ ගැටළු සියයට 90ක් පමණ මේවන විට විසඳා තිබියදී ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙතෙක් විසඳීමට නොහැකි වූ ගැටළුවලට අදාළව සාකච්ඡාවක් ලබන 14 වනදා පැවැත්වීමට නියමිතව තිබියදී එම දුම්රිය රියදුරන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එවන් පසුබිමක් තුළ මගීන් පීඩාවට පත් කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කළා.