Saturday, May 31, 2025

General line - 0115112241

නීති විරෝධී පිරමීඩ ආයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ්

උදය කුමාර



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 225 කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරු ෆූගෝ ඔලින් privat limited  නමැති සමාගමක් පවත්වාගෙන ගොස් පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව 2023 වසරේ මාස පහක කාලයක් තුළ  එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත් මෙම මුදල් කවර පාර්ශවයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන එරංග දිල්ශාන් නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.