Wednesday, February 26, 2025

General line - 0115112241

දින 04ට පසු දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට



නියමිත කාලසටහනට අනුව අද උදෑසන සිට දුම්රිය ධාවනය සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දින 04ක් පුරා ක්‍රියාත්මක කෙරුණු දුම්රිය රියදුරන් පිරිසකගේ වැඩ වර්ජනය ඊයේ අවසන් කෙරුණද ඊයේ පස්වරුවේත් දුම්රිය ධාවනයට බලපෑම් වුණා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ සිය සාමාජික රියදුරන් අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි.        

ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට හැකි බවද ඔහු කියා සිටියා.

සාමාන්‍යයෙන් සතියේ දිනකදී දුම්රිය ගමන් වාර 346ක් ධාවනයට එක් කෙරෙනවා.

එහෙත් වර්ජනය ක්‍රියාත්මක වූ දින 04 පුරා දිනකට දුම්රිය ගමන් වාර 75කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදු වුණා.

ඒ අනුව එම දින 04 පුරා දුම්රිය ගමන් වාර 300කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වුණේ. 

රියදුරු හිඟය, උසස්වීම් ප්‍රමාදවීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගිනිමින් දුම්රිය රියදුරන් පිරිසක් පසුගිය දින 04පුරා එලෙස වැඩ වර්ජනයේ නිරත වුණා.

ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු ප්‍රවාහන බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී සිය ගැටලුවලට විසඳුම් ලබා දීමට ගත් පියවර හේතුවෙන් එම වර්ජනය අත්හිටවූ බවයි වර්ජනයේ නිතර වූ පාර්ශවය ප්‍රකාශ කළේ.