Wednesday, February 26, 2025

General line - 0115112241

රටේ ජය පැරදුම ඉදිරි ජනාධිපතිවරණයයි - ජනපති කියයි



ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමාගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩපිළිවෙළක් නොමැති බවයි.

ආණ්ඩුවේ ගමන ආපසු හැරවුවහොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මැතිවරණ වේදිකාවල පොරොන්දු ලබා දුන්නද රට ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් කිසිදු පාර්ශ්වයකට නොමැති බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත දේශපාලන වැරැද්ද යළි සිදු නොකළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවයි. 

එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.