Thursday, February 27, 2025

General line - 0115112241

මැතිවරණ පැවැත්වීම තමන්ට ගැටලුවක් නොමැති බව IMF කියයි

සම්පත් කුලරත්න



ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බව එම අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.

ඒ අනුව අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර නැවත කාල රාමුවක් සකස් කර ගැනීමට සිදුවන බව ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන ඇගයීම සහ “ආර්ටිකල් ෆෝ” උපදේශනයට අදාළව අද පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් පැවසුවේ ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් නොමැති බවයි.

ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මාස 48ක් සඳහා ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් පසුගිය 12 වනදා සිය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුවයි තෙවන වාරිකය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තර්ණ ණය පහසුකම යටතේ ලබා දීමට එකඟතාව පළ කළා. 

ඒ, 2023 වසරේ මාර්තු 20 වන දින සිට මාස 48ක කාලයක් සඳහායි. එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් හිමි වුණා.

කෙසේවෙතත් 2023 වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව නියමිත ඉලක්ක සපුරා තිබූ බැවින් මෙම ණය මුදලේ තෙවන වාරිකය අනුමත වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

ඔහු කියා සිටියේ රටට ලැබෙන සෑම මුදලක්ම ඉතාමත්ම සැලැසුම් සහගතව වියදම් කිරීමට අවශ්‍ය වාතාවරණය සකසා ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තරයේ සහය නොමැතිව තනිව රට ගොඩනැගීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල් මාධ්‍ය හමුවේ කියා සිටියා.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ මෙරට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ද වෙනසක් සිදුවිය යුතු බවයි.