Thursday, February 27, 2025

General line - 0115112241

කෙහෙලිය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති අධිකරණයට කියයි

උදය කුමාර



වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළවයි.

ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා  සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා. 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවට මීට පෙර නීතිපතිවරයා විසින් පෙරකළාසි ගොනු කර තිබුණද මෙම අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් පෙනී නොසිටින බව දැනුම් දුන් වග උත්තරකරුවන්ට යළි නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 18 වනදාට පැවැත්වීමට ද නියම කෙරුණා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තරකාර සමාගම්  දෙක ලියාපදිංචි කර නොමැති බවත් එම සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීමට වග උත්තරකරුවන් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි. මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 07 දෙනෙකු ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.