කළුතර දකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු මීගොඩ, ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් දකුණ අපරාද කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.
සැකකරුගෙන් අනාවරණ වූ කරුණු මත අදාළ වෙඩි තැබීමට භාවිත කළ ටී 56 වර්ගයේ ගිනි අවිය සහ ඊට යොදන සජීවී පතරොම් 15ක් සොයාගෙන තිබෙනවා.
ඒ කළුතර, පළාතොට ප්‍රදේශයේ සුසාන භූමියක සගවා තිබියදීයි.
සැකකරු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාද මෙහෙයවනු ලබන අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසුවේ.
කළුතර, දකුණ පොලිස් වසමේදී සැකකරු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය මැයි මස 20වනදායි.
එම අපරාදයට පැමිණි යතුරු පැදිය පැදවූ සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මීට පෙර අත්අඩංගුවට ගැනුණා.
එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ කරුණු මත වෙඩි තැබීම සිදුකල සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර යතුරු පැදියකින් අවි සහ මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බඩල්ගම, කලුමඩ ප්‍රදේශයේදී ක්ෂණික මාර්ග බාධක යොදා සිදුකල පරික්ෂාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 පතරොම් 04ක් සහ හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 430ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
රන්මාල කොල්ල කෑමේ අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සන්තකව සිටි සැකකරුවෙකු රඹුක්කන, හිරිවඩුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රඹුක්කන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.