Thursday, February 27, 2025

General line - 0115112241

 අදානිගේ සුළං බලාගාරයකට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමට දින නියම වෙයි

උදය කුමාර 



වෙඩිතලතීවූ ප්‍රදේශයේ අදානී සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 02 වනදා  කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ, එම පෙත්සම් අද විජිත් මළාල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනි වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වලට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දින ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම හදිසි වැදගත්කමක් සහිත අවශ්‍යතාවයක් මත ගොනු කර තිබෙන බැවින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි. 

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව අදාළ පෙත්සම් කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 02 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත සුලං බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට සංක්‍රමණික කුරුල්ලන් පිවිසෙන ගමන් මාර්ගය අවහිර වී පක්ෂීන් ද අනතුරට ලක්වීමේ තර්ජනයක් පවතින බවයි.

මේ හේතුවෙන් පාරිසරික ජෛව විවිධත්වයට හානි සිදුවන බවයි පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාල ව්‍යපෘතිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.