Friday, February 28, 2025

General line - 0115112241

පොල්තෙල් බෝතලයේ මිලත් අහස උසට නගී



පසුගිය දින කීපයට සාපේක්ෂව වෙළඳපොළ තුළ පොල්තෙල් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවට ජනතාව චෝදනා කරනවා.

ජනතාව පවසන්නේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

නෙත් නිවුස් සිදු කළ ගවේෂණයේදීද තහවුරු කර ගැනීමට හැකි වූයේ පසුගිය දින කිහිපයට සාපේක්ෂව පොල්තෙල් මිලෙහි වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

වෙළඳපොළ තුළ අතිරික්ත ආනයනික පොල්තෙල් තිබියදී ආනයනකරුවන් මෙලෙස පොල්තෙල් මිල ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසන්නේ.

උත්සව සමය මුල් කර ගනිමින් මෙලෙස පොල්තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතාන රජයෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය සමයේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 450ක්ව පැවතියද මේ වන විට වෙළඳපොලේ පොල්තෙල් බෝතලයක් රුපියල් 550ත් 580ත් අතර මිලකට අලෙවි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අප මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා කුඩා පොල්තෙල් කර්මාන්තකරුවන්ගෙන් සිදු කළ විමසීමකදී එම සංගමය පැවසුවේ නැව් ගාස්තු ඉහළ යාමත් සමග පොල්තෙල් මිලෙහි වැඩි වීමක් සිදුවූ බවයි.