Friday, February 28, 2025

General line - 0115112241

නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ විවේචනය කළ ෆොන්සේකාට වැඩ වරදින ලකුණු



සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය සූදානම් වනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට සමගි ජන බලවේගය වෙලාවක් වෙන් කර නොදීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී සමගි ජනබලවේගයේ නායකත්වය සහ පක්ෂයේ ඇතැම් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කළමනාකාරීත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

පක්ෂයේ සාමාජිකයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට පක්ෂය පිළිබඳ හෝ නායකත්වය පිළිබඳ ගැටලුවක් ඇත්නම් එය පළමුව ඉදිරිපත් කළ යුත්තේ පක්ෂයේ නිලධාරී මණ්ඩලයට හෝ කෘත්‍යාධීකාරී මණ්ඩලයට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.