ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියම කළා.
මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටීම නිසා ඔහුගේ නම විවෘත අධිකරණයේ කතා කරනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකුද පෙනී සිටියේ නැහැ.
ඒ අනුව අදාළ නඩුව ඒක පාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා විනිසුරුවරයා තීරණය කළා. ඉන් අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා කැඳවීමටද දින නියම වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
පැමිණිලිකරු කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරිය නොහැකි බවයි.
එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති බවත් එය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණා.