Friday, February 28, 2025

General line - 0115112241

ගුරු හා විදුහල්පතිවරු පාසල් වේලාවේ අද මහ පාරට



වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් දෙන ලෙස බල කරමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් පැවසුවේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බවයි.

ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් අද දිනයේ පාසල් කටයුතුවලට බාධා එල්ලවිය හැකි බවද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ මොඩියුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිත බවයි.

එමෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී තිබෙන බවද ප්‍රකාශ කෙරුණා.