Friday, February 28, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 10ක ණය ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ - පොලියත් අඩු වෙයි



ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් අනුව අමෙරිකානු ඩොලර් බිලියන 10 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊට නිල ණය හිමියන්ගේ සහ චීන එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණය ඇතුළත්.

ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් ඊයේ සාර්ථකව අවසන් කෙරුණා.

ශ්‍රී ලංකාව, ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කළ අතර ශ්‍රී ලංකාව, චීනයේ එක්සිම් බැංකුව සමඟ අවසන් එකඟත්වයට පැමිණියේ බෙයිජිං නුවරදීයි.

මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතීත්වය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් දැරූ අතර ඕස්ට්‍රේරලියාව, ඔස්ට්‍රිරයාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, හංගේරියාව, කොරියාව, නෙදර්ලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය එම කමිටුවේ සෙසු සාමාජිකයන්.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම සිදු වනු ඇති.

ප්‍රාග්ධනය සඳහා සහන කාලසීමාවන් ලබාදීම ද ඊට ඇතුළත්. 

එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් සහ අනාගතයේ දී ණය ගෙවීමේ හැකියාව වැඩිදියුණු වන තෙක් කෙටි කාලීනව ශ්‍රී ලංකාව සඳහා පවතින ගෙවීම් බර මෙහිදී අඩු කර තිබෙනවා.

මීළඟ පියවර ලෙස ශ්‍රී ලංකාව, වාණිජ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවන්ට පැමිණීම කඩිනම් කරනු ඇතියි.

නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බදු ආදායම, ණය ගෙවීම් වෙනුවට අත්‍යවශ්‍ය පොදු සේවා සඳහා යොදා ගත හැකි අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා කාලය ලබා දීම ද සිදු වනවා.

එමෙන්ම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ද්විපාර්ශ්වික මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කළ හැකියි.

අයවැයේ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය සහාය සම්බන්ධයෙන් වන කෙටි කාලීන විදේශ මූල්‍ය පහසුකම් සලසා ගැනීම සම්බන්ධයෙන් ද මෙමගින් සැලකිය යුතු බලපෑමක් සිදුවනවා.