ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවයි උන් වහන්සේ පැවසුවේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින්.
විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ නා හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී මහා නා හිමියන් දැනුවත් කර තිබෙනවා.
නැවත රට එවන් අගාධයකට ඇද නොවැටීමට නම් රට නව මගකට ගෙන යා යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළ කැපවී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
රට ව්‍යසනයකට ඇද වැටී තිබු අවස්ථාවේ ජනාධිපති ධූරය භාරගන්නා ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් කළ ආරාධනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කර තිබෙනවා.