Saturday, March 1, 2025

General line - 0115112241

හිරුණිකාගෙන් අභියාචනයක්

උදය කුමාර



නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරිණ ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

ම ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල්  රණරාජා  ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එලෙස සිරදඩුවම් නියම කරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා එහිදී නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන්.

ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවනු ලැබුවා.

ඒ අනුව ඇය එම බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රදවා සිටිනවා.