Sunday, March 2, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උදය කුමාර



ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, සහ නීතිපතිවරයායි. 

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී ඩී ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවක් නිර්මාණය වී තිබෙන බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව සඳහන් කර තිබූ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයේ 03වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 - දෙක වගන්තිය සංශෝධනය කර තිබෙනවා. 

එසේ සඳහන් වුවද එතුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බවයි පෙත්සම්කරු සඳහන් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05ක් දක්වා අඩු කිරීමේදී එය ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නොමැති බව අදාළ පෙත්සමේ සඳහන්.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30 - දෙක ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වන බවද පෙත්සම්කරු සඳහන් කළා.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූල තුළ ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇති බවයි පෙත්සම්කරු පැවසුවේ. 

එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යැයි  පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා. 

මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.