Tuesday, March 4, 2025

General line - 0115112241

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවීමක්



අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද දිනයේ නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.