Wednesday, March 5, 2025

General line - 0115112241

මාකදුරේ මදූෂ්ගේ බැනරය ගැන පොලිස් විමර්ශන අරඹයි



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මදූෂ්ගේ දේහය භූමිදානය කර ඇති ගොඩිගමුව සුසාන භූමිය ඉදිරිපස ඡායාරූපයක් සහිතව ප්‍රදර්ශනය කර තිබූ බැනරය සම්බන්ධයෙන්, ඒ අසල තිබූ සීසී ටීවී කැමරා පද්ධති උපයෝගී කර ගනිමින් මේ වනවිට පරීක්ෂණ සිදුකෙරමින් පවතින බව පොලිසිය පවසනවා.

අදාළ බැනරය ඊයේ දහවල් කාලයේ එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සහ ඡායාරූපයක් සංසරණය වූ අතර පසුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම බැනරය සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේ බොරැල්ල කනත්තේදී සිදුවන අවස්ථාවේ මාකදුරේ මදූෂ්ගේ ඡායාරූපය සහිත බැනරය එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබූ බවයි වාර්තා වුණේ. එහි සඳහන්ව තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන්. 

මේ අතර ඊයේ දිනයේදී ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී එම ස්ථානයේ සැක කටයුතු ලෙස සිටි පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර ගියා. 

අප ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතවරයාගෙන් සිදුකල විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි කිසිදු පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට නොගත් බවත් සමාජ මාධ්‍ය හරහා පැතිර යන එම පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි.