කිලිනොච්චිය, කුඩම්මුරුට්ටිහිදී පොලිස් අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී එක් අයකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි කිලිනොච්චිය පොලිසිය පැවසුවේ.
මෙසේ වෙඩි තබා ඇත්තේ කිලිනොච්චිය - පුනරින් මාර්ගයේ වැලි පටවමින් ධාවනයේ යෙදුන ටිපර් රථයකට බව වාර්තා වනවා.
අදාළ ටිපර් රථය බලපත්‍ර රහිතව නීති විරෝධිව වැලි ප්‍රවාහනය කරනු ලබන බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි පොලිස් නිළධාරින් පිරිසක් විසින් කුඩම්මුරුට්ටිහීදි එය නවතන ලෙස අණ කර ඇත්තේ.
එම අවස්ථාවේදී පොලිස් අණ නොතකමින් පොලිස් නිළධාරින්ට ද අනතුරක් සිදුවන ආකාරයෙන් එහි රියදුරු ටිපර් රථය ධාවනය කර තිබෙන අතර, එහිදී පොලිස් නිළධාරියකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.