Thursday, March 6, 2025

General line - 0115112241

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්



එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා ද මෙමගින් යෝජනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

මෙම තීරණය ගෙන ඇත්තේ අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයද සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව පත් කිරීමට යෝජනා කරන කමිටුවේ සභාපතිත්වයට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පත් කරනු ඇති.

මීට අමතරව කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී හා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් කර තිබෙනවා.