Thursday, March 6, 2025

General line - 0115112241

ගිලුණු ඕමාන නැවේ සිට අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 09ක් බේරාගැනේ



ඕමානය ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිට අතුරුදන් වූ එක් ශ්‍රී ලාංකිකයෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා.

ඒ, ඉන්දියාවේද සහයෝගය ඇතිව ඕමානය විසින් දියත් කර ඇති විශේෂ මෙහෙයුමේදීයි.

මෙහිදී තවත් ඉන්දීය ජාතිකයින් 08 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමටද හැකි වී තිබෙනවා.

ඕමානයේ නාවික හමුදා මධ්‍යස්ථානය තහවුරු කළේ මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ඔහුගේ මළ සිරුරද මේ වන විට සොයා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නැහැ. 

කොමරෝස් ධජය සහිතව ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව අනතුරට ලක් වූයේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු සමගයි.

ඒ අනුව තවත් 06 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා.

ඔවුන් සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම මේ වන විටද ක්‍රියාත්මක බව ඕමානයේ නාවික හමුදා මධ්‍යස්ථානය පැවසුවා.

නෞකාව අනතුරට පත් වීමෙන් පසු එය මුහුදේ ගිලී ගොස් තිබුණා.

ඉන් අනතුරුවයි ඉන්දීය යුද නෞකාවක්ද යොදා ගනිමින් අදාළ මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ.

මෙහෙයුම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් සමුද්‍රීය ඔත්තු බැලීමේ ගුවන් යානයක්ද යොදාගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙහෙයුම්වලට එක්ව සිටින පිරිස පවසන්නේ රළු මුහුද සහ අධික සුළං හේතුවෙන් සිය කටයුතුවලට දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවයි.