Thursday, March 6, 2025

General line - 0115112241

කුඩා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්



ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

ඒ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින්.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක්‍රීය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබා දීම සිදු කෙරෙනවා.

ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූල්‍ය සහාය අවශ්‍ය සහ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් උසස් කිරීමට ධාරිතාවය ඇති සුදුසුකම් ලත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත නිර්දේශ ලිපි නිකුත් කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ  වසර 10ක කාලසීමාවකට අදාළව සියයට 7ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර තිබෙනවා.

අක්‍රීය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධන ලෙස  වසර 5ක කාල සීමාවකට යටත්ව  සියයට 8ක පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 5ක ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 05ක්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ  ඕනෑම රටක් දියුණුව කරා ගෙන යාමට නම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ශක්තිමත් කළ යුතු බවයි.

පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ වැඩිම පීඩාවකට ලක් වූයේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් නැවත නඟා සිටුවීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවද කියා සිටියා.

ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුව  ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

වැඩි වශයෙන් රටට විදේශ ආයෝජන ලබා ගනිමින් මහා පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ද එහිදී පැහැදිළි කළා.

මෙම නව ණය යෝජනා ක්‍රමය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාස ඇතුළු ව්‍යාපාර මෙහෙයුම් පරිසරයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් හටගන්නා අවදානම් තත්ත්වයන්හි කටයුතු කිරීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ අනුවර්තන හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති.