Thursday, March 6, 2025

General line - 0115112241

කුකුළු මස්, බිත්තර, අන්නාසි අපනයනයට තිබූ බාධා චීනය ඉවත් කරයි



මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක මේ වනවිට චීන රජය විසින්  ඉවත් කර තිබෙනවා.

මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙදපලට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ සැලසෙනවා.

රටේ මෙම කෘෂි නිෂ්පාදන චීන වෙළෙදපලට අපනයනය කිරීම සඳහා පැවැති බාධක ඉවත් කර ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට විශාල කාර්ය භාරයක් සිදු කර තිබෙනවා.

විශේෂයෙන් අන්නාසි වගා කරන ආකාරය මෙන්ම කුකුළු නිෂ්පාදනවල ගුණාත්මකභාවය එරට වෙළෙදපල තුළ තහවුරු කිරීම සඳහා ක්‍රමවේද ගණනාවක් සම්පූර්ණ කිරීමට සිදු වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් විසින් ඒ සදහා සිදු  කළ කැපවීම නිසා  චීනයේ වෙළෙදපල අවස්ථාවන් රටට ලබා ගැනීමේ ප්‍රයත්නය මේ වනවිට සාර්ථක වී ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා. 

මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කවර කෘෂි නිෂ්පාදනයක් වුවද අපනයනය කිරීම සඳහා චීනයේ වෙළෙදපල අවස්ථාවන් ශ්‍රී ලංකාවට පුළුල් කිරීමට චීන රජය කටයුතු කරන බවට චීන උප අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.