Saturday, March 15, 2025

General line - 0115112241

පොලිස් වෙඩි පහරකින් වන අලියෙකු මියයාම ගැන පරිසරවේදීන්ගේ දැඩි අවධානය



බකමූණ, දමනයාය, දම්පුර ප්‍රදේශයේ සැරිසරමින් සිටි වන අලියෙකුට පොලිස් නිලධාරින් විසින් වෙඩි තබා ඇත්තේ අනතුරක් පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නොවන බව පරිසරවේදීන් පවසනවා.

අදාළ වෙඩි තැබීම හේතුවෙන් වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා.

කෙසේවෙතත් වන අලියෙකුට වෙඩි තැබීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරින් අවදානය යොමු නොකර වෙඩි තැබීම සිදුකර ඇති බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ.


“රාජා” ලෙස හඳුන්වන එම වන අලියාගෙන් ප්‍රදේශයේ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


පොලිසිය කරන ලද වෙඩි තැබීමකින් එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු තිස් පහක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන වන අලියෙකු බවටයි තහවුරු වී ඇත්තේ.

බකමූණ පොලිසියේ නිලධාරින් තිදෙනකු එම ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිට තිබෙනවා. ඔවුන් ගමන් ගත් ත්‍රී රෝද රථයට එම වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් පොලිස් නිලධාරීන් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගෙන තිබුණා. රාත්‍රී කාලයේදීම බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් මිය ගොස් සිටි වන අලියාගේ සිරුර  එම ස්ථානයේ සිට මීටර් පනහක් පමණ දුරකින් වෙනත් මාර්ගයකට තල්ලු කර දමා තිබුණු බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී එම පොලිස් නිලධාරින් තිදෙනා ඇප මත මුදාහැරි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.