සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර එය ලබන දෙසැම්බර් මස 15 වනදා කල් ඉකුත් වීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.
ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධව ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.
මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.