Tuesday, March 11, 2025

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට පහර දුන් පාතාල පාර්ශවය හඳුනාගනී



ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙකුට එම බන්ධනාගාරය තුළදී ඊයේ දිනයේ සිදු කළ පහරදීම කරන්දෙනිය සුද්දාගෙ පාර්ශ්වයේ බන්ධනාගාර ගත රැඳවියන් පිරිසක් විසින් සිදු කර ඇති බව වාර්තා වනවා. 

ගාල්ල බන්ධනාගාරය තුළදී එලෙස පහරකෑමට ලක්ව තිබුණේ මීටියාගොඩ පොලිස් වසමේදී පුද්ගලයකුට හා කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනායි.

එම බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් අදාළ රැදවියන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ ගෙල ප්‍රදේශයට හා පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබුණා. 

ඇතිවූ තත්ත්වය හේතුවෙන් එම රැඳවියන් බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති අතර ගාල්ල බන්ධනාගාරයට ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි වාර්තා වුණේ.

අදාළ රැඳවියන් සිවු දෙනා තමන් බැලීමට බන්ධනාගාරයට පැමිණ  අමුත්තන් කිහිප දෙනෙකු හමුවීමට, අමුත්තන් පෙන්වීමේ ස්ථානයට යමින් සිටියදී එලෙස පහර කැමට ලක්ව තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර පොලිසියට පැමිණිලි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතව තිබෙනවා. 

අදාළ පහර දීමේ  සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.