Wednesday, March 5, 2025

General line - 0115112241

පාරේ වැරදි හොයන අලුත් පොලිස් ඇප් එකේ අවුලක්



රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පොලීසිය ඊයේ හඳුන්වා දුන් ඊ - ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. 

ඒ, අදාළ යෙදවුම බාගත කර ගැනීමේ දී ගැටලු මතුවීමත් සමගයි. 

නෙත් නිවුස් ඇමතූ බොහෝ පිරිසක් පැවසුවේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා මෙම යෙදවුම බාගත කර ගැනීමට නොහැකි වූ බවයි.

ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුවත් කළා. 

ඔහු පැවසුවේ පවතින ගැටලුකාරී තත්ත්වය කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි. 

පවතින ගැටලුව වහාම විසඳන ලෙස වැඩබලන පොලිස්පතිවරයා, පොලීසියේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාට උපදෙස් දී තිබෙනවා. 

ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගෙන්ද විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ මෙම ජංගම දුරකතන යෙදවුම සඳහා යොදා ගත් සර්වර් පද්ධතියේ ඉඩකඩ සීමා සහිත වීම හේතුවෙන් මෙම ගැටලුව මතුවී ඇති බවයි. 

කෙසේවෙතත් ඉදිරි පැය 24 තුළ ගැටලුව විසඳන බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා පැවසුවා.

ශ්‍රී ලංකා පොලීසිය ඊ - ට්‍රැෆික් මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දුන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩ සටහනට සමගාමීවයි.