Friday, February 28, 2025

General line - 0115112241

ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රිමාන්ඩ්

උදය කුමාර



ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පසුගියදා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් තිදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. 

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකු ද ඇතුළත්. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවයි. 

ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.