උතුරුමැද නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 56 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එරට මාධ්‍ය පවසන්නේ ඉන්ධන ටැංකිය පෙරළීයාමෙන් පසු ඉන්ධන ලබා ගැනීමට ජනතාව රැස්ව සිටියදී ඉන්ධන ටැංකිය පිපිරීමට ලක්ව ඇති බවයි.
මියගිය බොහෝ දෙනෙකුගේ මළසිරුරු හඳුනාගත නොහැකි බවයි එරට රජය සඳහන් කළේ.
මෙලෙස පිපිරීමට ලක්ව ඇත්තේ ඉන්ධන ලීටර් 60,000ක් රැගෙන යමින් තිබූ ඉන්ධන ටැංකියක්.
නයිජීරියාවේ අගනගරය වන අබුජා සිට කඩුනා නගරය හරහා ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී එම අනතුර සිදුවී තිබෙනවා.
අදාළ පිපිරීමෙන් එම ප්‍රදේශයේ වෙළෙඳසැල් 15කට අධික ප්‍රමාණයක් ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
කිසියම් පිරිසක් විසින් ජනන යන්ත්‍රයක් භාවිතා කරමින් එක් ඉන්ධන ටැංකියක සිට තවත් ඉන්ධන ටැංකියකට ඉන්ධන රැගෙන යාමට උත්සාහ කිරීමේදී පිපිරීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මාස 18ක් තුළ නයිජීරියාවේ ඉන්ධන මිල පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් නයිජීරියාවේ බහුලව දක්නට ලැබෙන ඉන්ධන ටැංකි පිපිරීම්වලදී ඉන්ධන ලබා ගැනීමට ගොස් බොහෝ දෙනෙකුට ජිවිත අහිමි වන බවයි වාර්තා වන්නේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී උතුරු නයිජීරියාවේ ජිගාවා ප්‍රාන්තයේදී මෙවැනිම සිදුවීමකින් පුද්ගලයන් 170කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.