දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද දිනයේ වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.
උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ
.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට දැඩි බලපෑම් එල්ල වී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පසුගිය 15 වනදා සිට මේ දක්වා පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුර, කිලිනොච්චිය, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
එම දිස්ත්‍රික්කවල පවුල් 319කට අයත් පුද්ගලයින් 603 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර අයහපත් කාලගුණයෙන් කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නිවාස 4ක් අර්ධ ලෙස හානි වී තිබෙනවා.
එමෙන්ම එම දිස්ත්‍රික්කවල පවුල් 71කට අයත් පුද්ගලයින් 200 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.
යම් ප්‍රදේශයක ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුවත් කරමින් හැකි ඉක්මනින් එම ස්ථානවලින් ඉවත් වීමට කටයතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහළ ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග අධ්‍යක්‍ෂක ජල කළමනාකරු ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.
මේ අතර ඇද හැලෙන අධික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත කිරීමට තීරණය වී ඇති අතර පැයකට පසු එම වාන් දොරටු අඟල් 12ක් දක්වා විවෘත කිරීමට සිදුවනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ හේතුවෙන් එම ජලාශය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි අදාල අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පවතින වර්ෂාව හේතුවෙන් නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
අද පෙරවරු 08 සිට හෙට පෙරවරු 08 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි එම සංවිධානය පැවසුවේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය සඳහා අවධානයෙන් සිටින ලෙසයි දන්වා ඇත්තේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව විමසිලිමත් බවින් සිටින ලෙසත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.