Thursday, February 27, 2025

General line - 0115112241

ඇමති කාර්ය මණ්ඩලය 15යි - නියෝජ්‍ය ඇමතිට 12යි



අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩා කාර්යක්‍ෂම කර ගැනීම සඳහා පත් කළ හැකි සහය කාර්ය මණ්ඩල සංඛ්‍යාව 15කට සීමා කර තිබෙනවා. 

නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සඳහා පත් කර ගත හැකි සංඛ්‍යාව 12කට සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ. 

පත් කර ගත හැකි සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර ඇති අතර ඇමතිවරුන් සඳහා පමණක් එක් පුද්ගලික සහකාරවරයෙකු පත් කරගත හැකියි. 

මේ බව දන්වා ඇත්තේ අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කිරීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල මෙන්ම වාහන සහ ඉන්ධන, දුරකථන යනාදිය ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත්කරමින්. 

පත් කර ගන්නා සහය කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ධුර කාලයට පමණක් සීමා කළ යුතු අතර කිසිදු පවුලේ සාමාජිකයෙකු හෝ සමීප ඥාතියෙකු පත් කර ගැනීමට අවසර නැහැ. මාසික අතිකාල දීමනා ලබා දීමද පැය 180ක උපරිමයකට යටත් කර තිබෙනවා. 

අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වෙන් කළ හැකි නිල වාහන සංඛ්‍යාව උපරිමය දෙකක් පමණක් බවයි අදාළ නිවේදනය මගින් දන්වා ඇත්තේ. 

එක් මාසයක් සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ උපරිම ඉන්ධන ලීටර් 900ක් සඳහා පමණයි. 

අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රාජකාරී දුරකතන 04ක් පමණක් ලබාගත හැකි අතර කාර්යාල සහ නිවසේ දුරකතන උපරිම බිල රුපියල් 20,000කට සීමා කර තිබෙනවා. 

ජංගම දුරකතන සඳහා ලබා දෙන්නේ රුපියල් 10,000ක් පමණයි. 

ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජනතාව විසින් වත්මන් රජය වෙත බලය ලබා දීමේ දී අපේක්ෂා කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණ ගෙන ඇති බවයි ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා පවසා ඇත්තේ. 

අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කිරීම ඇතුළු තවත් කරුණු රැසක් ඇතුළත් මෙම සම්පූර්ණ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙඩ් අඩවියට පිවිස නැරඹිය හැකියි.