Thursday, March 13, 2025

General line - 0115112241

කුම්භමේලා තෙරපීමෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළට



උතුරු ඉන්දියාවේ දැවැන්ත හින්දු ආගමික උත්සවයක් වන කුම්භමේලා උත්සවයේදී ඇති වූ තදබදයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම උත්සවයට අද දිනය තුළ මිලියන 100ක බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇති බවට පැවසෙනවා. 

ඊයේ රාත්‍රී 10 වන විට පැමිණ සිටි සංඛ්‍යාව ලක්ෂ 36 ඉක්මවා ගොස් තිබුණා. 

කුම්භමේලා උත්සවයට සහභාගී වීමට ඊයේ පැමිණ ගං ඉවුර අසල නිදා සිටි පුද්ගලයින් පිරිසක් ශුද්ධ ජලයෙන් ස්නානය කළ තවත් පිරිසක් විසින් පාගා දමා ඇති බවටයි වාර්තා පල වන්නේ.

කුම්භමේලා උත්සවය ලොව ඇති දැවැන්තම ආගමික උත්සවවලින් එකක් ලෙසටයි සැලකෙන්නේ. ලොව පුරා සිටින බැතිමතුන්, තාපසයන්, දේශපාලනඥයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ද ඊට සහභාගී වීම සාමාන්‍ය තත්ත්වයක්. 

ගංගා, යමුනා සහ සරස්වතී යන ගංගා තුන එක්වන ස්ථානයේ පූජනීය ජලයේ ස්නානය කිරීමෙන් තමන්ගේ පව් සෝදා පවිත්‍ර වී ගැලවීම ලබා ගැනීමට හැකි වන බවටයි හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ.