Tuesday, April 15, 2025

General line - 0115112241

මෝදි අමෙරිකාවට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට පැමිණෙන පළමු විදේශීය නායකයින් අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉකුත් සඳුදා අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් ද පවත්වා තිබුණා.

එහිදී ඔවුන් “අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ විශ්වාසදායක හවුල්කාරිත්වයක්” සඳහා ඔවුන්ගේ කැපවීම අවධාරනය කළ අතර ට්‍රම්ප් ඉන්දියාව තවදුරටත් ඇමරිකානු ආරක්ෂක උපකරණ මිලදී ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දු-පැසිෆික්, මැද පෙරදිග සහ යුරෝපයේ ආරක්ෂාව ඇතුළු ගෝලීය ගැටළු රාශියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ නායකයින් අදහස් හුවමාරු කර බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ආගමන විගමන ගැටලුව සහ සාධාරණ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාවයක් කරා ගමන් කිරීම පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළ බව සඳහන්.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදයට පැමිණිය හැකි බවයි. 

“අද උදේ මම ඔහු සමඟ බොහෝ වේලාවක් කතා කළා. ඔහු ධවල මන්දිරයට පැමිණෙනු ඇත, ලබන මාසයේ, බොහෝ විට පෙබරවාරි. අපට ඉන්දියාව සමඟ ඉතා හොඳ සබඳතාවක් තිබෙනවා, ”ට්‍රම්ප් වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.